Monday, January 23, 2012

සිතියම් උපන් හැටි


මේ බ්ලොග් එක ලියන්න පටන්ගන්න හිතුනෙ හදිසියේම. මේ ලඟදි දවසක් මට යාළුවෙක්ගෙත් යාළුවෙක්ගෙන් ඉල්ලීමක් ආවා සිතියම් ගැන දේශනයකට කරුණු ටිකක් හොයල දෙන්න කියල. බැහැ කියන්න බැරුව බාරගත්තත් වැඩේ දිගටම කරගෙන යද්දි මට හිතුනා සිතියම් ගැන මම දන්න ටික කාටත් දැනගන්න තිබුනනම් හොඳයි කියලා. ඉතින් මම ලියන දේ වගකීමකින් ලියන්නත් ඕන. නිසා මම මේවා ඉගෙනගත් හැටිත් ලියලම පටන්ගන්නම්. මම ශ්රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් විද්යා සැලසුම් ශිල්පියෙක් (cartographic draughtsman). සිතියම් විද්යාව ගැන දියතලාව මැනුම් හා සිතියම් ගතකිරීමේ ආයතනයේ වසර දෙකක ඩිප්ලෝමාවක් අවසන් කරලා දැනට බදුල්ල දිස්ත්රික් මිනින්දෝරු කාර්යාලයේ සේවය කරනවා. අපේ සේවාවෙ ඔක්කොම තුන්සිය ගණනක් තමයි මුළු ලංකාවටම ඉන්නෙ. මුලින්ම ශ්රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවටත් මට උගන්නපු හැමෝටමත්, මේ වැඩේ ගැන දැනගත් වෙලාවෙම තමන්ගෙ පණවගේ ආරක්ෂාකරපු දේශන සටහන් පොත ලෝභ නැතුව මට දීපු කාර්මික හා පරිපාලන නිලධාරී සරත් හෙන්දහේවා මහතාටත් පින්දීල පටන්ගනිමු. ඉතින් ඇතිනෙ මගේ පුරාජේරුව ඉතින් අපි කාරණාවට බහිමු.
                                                            සිතියම් කිව්වම අපි ඉස්කෝලෙදි ඉගෙන ගත්තෙ රුපියල් දෙකට විතර කඩෙන් ගත්ත ලංකා සිතියමේ මහවැලිගඟ, පිදුරුතලාගල කන්ද වගේ දේවල් ලකුණු කරන්න. සාමාන් පෙලට එද්දිනම් 1:50,000 සිතියම් කොටසක අළුතින් අඳින්නත් හුරු වුනා. ඒත් දැන් අපි සිතියම් කියවීම, භාවිතය අත්හැරල දාල නේද? ඒත් අපේරටේ සිතියම් භාවිත කරන අය අතලොස්සක් ඉන්නවා. පාසලේ භූගොල විද්යාව හදාරන අය, සංචාරකයො (පිට රටින් ආපු අය) වගේම විද්යාඥයොත් අතර ප්රධානයි. ඒත් සිතියම හැදුනු ආකාරය එහි මුල කොහොමද කියල අපිත් හොයල බලමු.

                                                            මිනිසා දඩයම් යුගයෙදි තමයි මුල්ම සිතියම ඇන්දෙ. අහවල් එකටද කියල හිතෙනවා නේද? ඔව් මිනිස්සු දඩයම් කරද්දි තමන් අළුතින් හොයාගත්ත ප්රදේශ ගැන සටහන් කරන්න තමයි ඒවා ඇඳල තියෙන්නෙ. ඒව අදවගේ සිතියම් නෙවෙයි. නිකම් රූප සටහන් විතරයි. ප්රදේශයෙ විශේෂ ලක්ෂණ (පර්වත, ඇළ, දොලතමයි ඒවායේ තිබුනෙ. ඒව තමන්ගෙ ගල් ගුහාවෙ බිත්තියෙ ඇඳල අනෙක් අයට තොරතුරු සනස්නිවේදනය කලා. සිතියමේ තිඹිරිගෙය. නමුත් ලෝකෙ මුල්ම සිතියම් හැටියට සලකන්නෙ බැබිලෝනියානුවන් මැටි පුවරුවේ ඇඳපු සටහන්. ක්රි.පූ 24-25 දි විතර. ඒවායෙ මූලික මැනුම් ක්රම භාවිත වෙලා තියෙනවා. ඒවා සකස් කරලා තියෙන්නෙ ඉඩම්වල පිඹුරු හැටියට.
 















අසාලා නම් අයට හිමි හෙක්ටයාර් 12 විතර පොලව සටහන් කරල තිබුන මැටි පුවරුවක් 1930දි හොයාගෙන තියෙනවා (විකිපීඩියා විශ්වකෝෂයෙන් උපුටා ගතිමි). තෙත මැටි වල ඇඳල ඒවා වේලලා තමයි මේ සිතියම් සකස් කරලා තියෙන්නෙ. මූලික බිම් මැනුමත් පිඹුරු සකස් කිරීමත් නිසා ඔවුන් තමයි ලෝකෙ මුල්ම මිනින්දෝරුවෝ. නමුත් මාෂල් දූපත්වාසීන් විසින් ඉරටු හා සිප්පි කටු යොදාගෙන හදපු සිතියම් පැරණිම සිතියම් හැටියට අපිට දේශන වලදි කියලා දුන්නා. ඒවායේ සිප්පිකටු වලින් දූපත් දැක්වුනා කියලයි කියන්නෙ. කොහොම වුනත් මිසරවාසීන්, ඉන්දියානුවන්, චීන ජාතිකයන් වගේම පර්සියන් ජනතාවත් සිතියම් සකස්කල හා දියුණු කල අයයි.

ග්‍රීක්වරුන් සිතියම් වලට විශාල සේවයක් කල අයයි. පොලව ගෝලාකාර බව, එහි විශාලත්වය, ධ්‍රැව, සමකය, නිවර්තන රේඛා යන සියල්ල ඔවුන්ගේ සොයාගැනීම්. මේ කාලයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්ථකාලාධිපති එරස්තොතීනියස් නම් ගණිතඥයා පොලවේ පරිධිය හොයාගත්තා. ඊට ඔහු සෑහෙන්න මහන්සිවුනා. එදා තාක්ෂණයත් එක්ක ඔහු එය සැතපුම් 23000ක් පමණ බව හොයාගත්තා. දේශ ගවේෂණය හා යුද්ධය සඳහා රෝමන්වරු විසින් සිතියම් සාදනලද අතර මුළු ලෝකයම රෝම අධිරාජ්‍යයේ කොටසක් බව ඒවායේ පෙන්වා තිබුනා. මින් පසුව බිහිවූ ටොලමිගේ සිතියම වඩා ජනප්‍රිය වුනා. එහි ලංකාව තැප්‍රොබේන් යනුවෙන් හඳුන්වා තිබෙනවා.
 

මින් පසුව මධ්‍යතන යුගයේදී ලෝකයේ සෑම විද්‍යාවකටම සෙනසුරු දසාව ලැබූ කාලයකි. මෙහිදී පල්ලියේ සෙවනැල්ලට සිතියම් තාක්ෂණයත් නතුවීමෙන් සිතියම ආගමික මුහුණුවරක් ගත්තා. නමුත් මේ කාලයේ අරාබි ජතිකයන් සකස්කල වෘත්තාකාර සිතියම සෑහෙන පමණට නිවැරදි බව අදටත් සිතියම් විද්‍යාඥයෝ පවසනවා. මේ කාලයේම මාලිමාව පැමිණිමත් සමග පොටෝලොප් කටු සිතියම නම් ජනප්‍රිය සැලැස්ම කරලියට පැමිණෙනවා. මෙය සියවස් තුනක් පමණ නාවුක කටයුතු වලට යොදාගත්තා.

ක්‍රි.ව 1500න් පසුව සිතියම් විද්‍යාව යලිත් හිස ඔසවන්නේ ‍ටොලමිගේ සිතියම් පොත නැවතත් සොයාගැනීමෙන් පසුවයි. මේ සමගම සිතියම් මුද්‍රණය කිරීමත් ආරම්භ කල බැවින් සිතියම් පිටපත් නිපදවීම බොහෝසෙයින් පහසුවක් වුනා. දේශ ගවේෂණයේ යෙදීමේ ආශාව සමග සිතියම් වලට ඉල්ලුම බොහෝ සෙයින් වර්ධනය වුනා. ඉන්පසුව සිතියමේ සිදුවූ වර්ධනය පහත දැක්වෙන සොයාගැනීම් හා බැඳී තිබෙනවා

*  ලිතෝ මුද්‍රණය සොයාගැනීම         1798
* ‍ෙෆාටෝ ලිතෝ ක්‍රමය සොයාගැනීම     1848
* තුන්තනාගම් තැටි භාවිතය            1960
* ඕෆ්සෙට් මුද්‍රණ්‍ය                   1904
* ගුවන් ඡායාරූපකරණය             1920
* ප්ලාස්ටික් කැටයම් රේඛණය         1952
* අංකිත සිතියම් කරණය              වර්තමානය

                  ඉතින් ඕක තමයි ලෝකයේ සිතියම් ඉතිහාසය බොහෝම කෙටියෙන්. ටිකක් නීරසයි තමයි ඒත් මුල නොදැන මැද මොටද? කියල හිතලා මේ විස්තරය සකස් කලා. සිතියම් ගැන තියෙන ඕනෑම ගැටළුවක් යොමුකරන්න. බැළුවාට බොහෝම ස්තූතියි. ඊළඟ ලිපියෙන් අපි සිතියම් ගැන ඉගෙන ගනිමු.

14 comments:

  1. රවියගෙ බ්ලොග් එකෙන් පාර බලාගෙන ආවෙ. මේ පින්තූර ලෝඩ් වෙන්නෙ නෑ, ඇයි දන්නෙ නෑ! දිගට ලියමු, සිතියම් සහ අනෙක් කතාත්. අපිඅටත් යමක් අහගන්න හොයාගන්න එන්න බැරිය. අර හලාබෙ පාළම ගැන මිනින්දෝරු ඉතිහාසෙන් යමක් දන්නවනම් කියහන්කො සහෝ ( කටකතා ජනකතා එමට තිබ්බට හරි විස්තරයක් නෑ නෙව ) .

    ReplyDelete
    Replies
    1. හෑ... කාගේ බ්ලොග් එක කිව්වා ???

      :D :D :D

      Delete
  2. කිසිම නීරසයක් නෑ ඉතාම ආසවෙන් කියෙව්වේ. ලියමු මේවගේ දේවල් අපටත් දැනගන්නත් එක්ක. ඔන්න බ්ලොග් රෝලටත් දාගත්තා මේ ඉසව්ව

    ReplyDelete
  3. මොකද්ද map detum කියන්නේ
    කලා විකලා හොයනනේ කොහොමද

    ReplyDelete
    Replies
    1. Map datum කියන්නේ ඔය සිතියමට පදනම් කරගන්නා ඛණ්ඩාංක ක්‍රමයටනෙ. ලෝකයට පොදුවෙ තියෙන්නෙ WGS-84 කියන එක.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ටොලමිගේ ලෝක සිතියම් වල ඇති විශේෂ ලක්ෂණ මොනාද

    ReplyDelete
  6. ගොඩක් වැදගත්. ලංකා සිතියමේ විකාශනය පිලිබඳ කරුණු එකතු කරන්න සිතිම් එක්ක.

    ReplyDelete
  7. ,තව godak දෙවල් මම ලග තියනවා සිතියමි වර්ග

    ReplyDelete
  8. ඉගනීම ඔන්ලයින්කරනය වූ අවදියක අධ්‍යන කටයුතු වලට ලැබුන හොද සහයක්.ලංකාවේ සිතියම් ගැනත් තොරතුරු මේ විදියටම එකතු කරන්න පුලුවන් නම් කාලයේ තාලයට හොද දෙයක් අධ්‍යන කටයුතුවල ඉන්න අයට..

    ReplyDelete
  9. Lankawe sithiyam widyawa thibuna kiyala thahauru wena awastha monada kynnko

    ReplyDelete